Showing posts with label හැගීම්. Show all posts
Showing posts with label හැගීම්. Show all posts

දිනයක සැමරුම

අද මම කියන්න යන්නේ අළුත් අවුරුද්ද ගැනම නෙමෙයි. ඒක අපේ පොඩි කාලෙ ඉඳන් කොහොමද පැවතුනේ කියන එකයි. අප්‍රේල් නිවාඩුව ඉස්කෝලේ යන ඕනෙම කෙනෙක්ට වඩාත් සතු‍ටුදායක නිවාඩුව කියල කියන්න පුළුවන්. ඒ කාලේ අවුරුද්ද කියන එකේ තේරුම හරි හැටි නොතේරුනත් කරන කියන වැඩ මොනවද කියන්න නම් දැනගෙන හිටියා. ඔන්න ඉතින් මම ගොඩාක්ම පොඩි එකා කාලේ අවුරුද්ද කියල හිතුවේ වෙලාවකට කිරිබත් කන එකයි. මොකද පුංචි සන්ධියේ පුංචි බඩට නිතරම බඩගිනි එන නිසා වෙලාවක් අවේලාවක් නැතුව කනවනේ. ඒත් ඉතින් මට එපාම වෙලා තිබුනේ නොනගතය වෙලාවයි. පෙරේතකම තිබුනට ඒ වෙලාවට කන්න දේවල් නැති නිසා සහ කන්න දෙන්නේ නැති නිසා මට අවුරුද්දකට සැරයක් එන අමිහිරිම කාලය තමයි නොනගතය.

අවුරුද්ද ලබනකොට රතිඤ්ඤා පත්තු කරන්නත් ඉවසිල්ලක් නෑ. දවසක් අල්ලපු ගෙදර මිදුලට අහස්කූරක් ගිහින් බැනුම් අහන්නේ නැතිව බේරුනේ අළුත් අවුරුද්ද කටේ තිබුන නිසා වෙන්නත් ඇති. ඔක්කොම කරල ආහාර අනුභවයෙනුත් පස්සේ ඊළඟ නැකතට වැඩ ඇල්ලීම තමයි සිද්ධවුනේ. ඒකත් එක්තරා තරමක එපා වුන කටයුත්තක්. නැකතට වැඩ අල්ලන්න පොතක් අරන් පාඩම් කරන්න කියල 20 පාරක් විතර ගෙදරින් කියනවා. ඒ කාලේ ඉඳන්ම පොත්වල ජීවත් වුන අය නෙමෙයිනේ. කොහොම හරි ෂේප්මන්ට් එක දාගෙන ඉන්නකොට නෑදෑයෝ බලන්න යන්න කාලය එනවා. ඒකත් මගේ හිතේ සතු‍ටුදායක මොහොතක් වෙනවා. මොකද නංගිල මල්ලිල, අයියල, අක්කල එක්ක සෙල්ලම් කරන්න හම්බවෙන එකම වෙලාව ඒක නිසා. අනිත් වෙලාවට එයාලට රටේ නැති වැඩ.

දවස් 2, 3ක් නෑදෑ ගෙවල් වල රවුම් ගහල ගහල ගෙදර ආවහම පාළුව කියන්න බැරි තරම්. ආයෙත් අවුරුද්දකින් නේ ඒවගේ අවස්ථාවක් උදාවෙන්නේ. නිවාඩු කාලේ ඔහොම ගෙවෙනවා, ඊටපස්සේ ඉස්කෝලේ පටන් ගන්න සතියක් විතර තියල තමයි පියවි සිහියට එන්නේ. ගෙදරින් කරගෙන එන්න කිව්ව වැඩ එහෙමත් තියෙනවා. නිවාඩුව ඉවරවෙනව ආයෙත් ඉස්කෝලේ යනකොට හරිම දුකයි. සතියක් විතර ඉස්කෝලේ යනකල් මතක් වෙන්නේම අවුරුද්ද සතුටින් ගත කරපු විදිය.

ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති නේද ???

ආයෙත් මං........

ඇති යාන්තං ඉක්මනට එන්න වාසනාව ලැබුනා. මගේ මොනිටර් එක ලැබුනා. දැන් භාණ්ඩේ වැඩ එළකිරි වගේ. මේ දවස් ටිකේ මට හරියට වැඩ ටිකත් කරගන්න බැරිවුනා. අර ෆෝකසින් අවුල් ගිය මොනිටර් එක මට දුන්න වදයක් හැබෑට. සමාවෙන්න ඕනේ කට්ටියගේ බ්ලොග් හරියට කියවන්න බැරි වුන එකට. ඔන්න මං ආයෙත් ඔෆීෂියල් විදියට ආවා හොඳේ.

අවසන් ගමන

අද මම කියන්න යන්නේ මං ගැන නෙමෙයි. වෙන මිනිහෙක් ගැනත් නෙමෙයි. ලංකාදීප පත්තරේ තිබුන සංවේදී ලිපියක් මේ කථාවට මූලික වුනේ. මේක දකින හැමෝගේම ඇස්වලට කඳුළු උනනවා සත්තයි. හිතාගන්න අමාරුයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ ඇයි කියලා.

අපිට අපේ අම්මව නැතිවුනාම දැනෙනව වගේමයි ඒ ඇත් පැටියටත්. ඒක කොහොම දරාගෙන ඉන්න ඇතිද කියල පුවත්පතේ ඒ ලිපිය කියවන හැමෝටම තේරෙන්න ඇති. අලියෙක් වුනා කියල දුක කියන දේ දැනෙනවා අපිට වගේ. දවසක් මම රූපවාහිනියේ දැක්කා ලංකාවේ කැලයක හිටිය අලියෙක්ට වෙඩි වදිලා එයාට බේත් කරන්න වනජීවී නිලධාරීන් සෑහෙන මහන්සියක් ගත්තා. එක අතකට සතු‍ටුයි අපේ තිරිසන් මිනිස්සු කරන වැඩ වලට තම ජීවිතෙත් පරදුවට තියල වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්න එක ගැන. ඒත් මේ වෙඩි තියල අලි මරන එක කවදා කෙලවර වෙයිද කියල හිතාගන්න බෑ.

මිනිස්සුන්ට, අලින්ට වඩා මොලයක් ලැබිල තියෙන්නේ කල්පනා කරල වැඩ කරන්න. කැලෑවල් ගිනිතියන්නයි හේන් කොටන්න කියල කැලෑවල් එළි කලාමයි අලින්ට වුනත් කන්න දේවල් නෑ කියල උන්ට තේරෙන්නේ නැති හැටි. ඒක තමයි මේ ප්‍රශ්න පටන් ගන්න ප්‍රධානම හේතු ටික. මේක හරියනකං අලි ගම්වදින එක වලක්වන්න කොහොමටවත් බෑ. අනික එහෙම අපරාධ කරන අයට දැඩි දඬුවම් දෙන්නත් ඕනේ. එතකොටවත් මේ වගේ දේවල් වෙන එක නතරවෙයි.

දැන් හොඳයි.....

යාන්තම් තිබුන අමාරු ටික අඩුවෙලා ගියා. කොල්ලේගේ සෞඛ්‍ය තත්වය හොඳයි කියන්නේ ඉතින් සාමාන්‍ය විදියට වැඩ ටික කරගන්න පුළුවන් කියන එකයි. බයිස්කෝප් වෙබ්පි‍ටුවේ කස්ටියට පිං සිද්ධ වෙන්න හොඳ ‍ෆිල්ම්ස් ටිකකුත් බලාගත්තා ගෙදර හිටිය කාලෙදි.රෑට බානවා දවල්ට බලනවා ඒකත් ආතල් වැඩේ. නිකං තියෙන ජංජාලෙනේ.

රටේ අළුත් විස්තර මොනවද කියන්නවත් දන්නේ නෑ. මොකද නිව්ස් කියල යන්නේත් මඩ ගහගන්න ඒවානේ. ජනවාරි ඉවරවෙනකන් ටීවී බලන එක අඩු කරන්න කියල කල්පනා කලේ. ඒ අතරෙ ඉතින් ලොකු ලොකු කට්ටිය කියන කථා වටින් ගොඩින් ඇහෙනකොට ආයෙත් රූපවාහිනියේ අගය තේරෙන්න ගන්නවා.

අද ඉතින් කොල්ල ගියා පොඩි රවුමක්. රවුමක් කිව්වට ගෙදර ඉඳල එපා වුන නිසා ගියා ටවුම පැත්තට. නත්තල් කාලේ හින්දා වෙන්න ඇති මිනිස්සු මෙච්චර උනන්දුවෙන් බඩු ගන්නේ. නත්තල් කාලෙටයි අවුරුදු කාලෙටයි සෙනඟ වැඩියි. කඩවල්වලටත් ජයටම ඇති ඉතින්. වෙනදනම් ඉතින් මොන උත්සවය තිබුනත් මිනිස්සු ගෙවල් වලින් බහින්නේ පණපිටින් ගෙදර එන්න පුළුවන්වෙයිද කියන සැකය උඩනේ. විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න නගරවල ගැවසෙන්නත් මිනිස්සු බයවුනා. කොහොම හරි යුද්ධය ඉවරවුනාට පස්සේ මහජනයාට නිදහසේ බයක් සැකක් නැතිව යන්න එන්න පුළුවන්.

කථාවේ අවසානයටත් ආවා ලෙඩ වෙලා ඉන්නකොට බ්ලොග් එකේ කමෙන්ට් දාල මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. ආයෙත් අළුත් අළුත් දේවල් ලියන්න ගන්නම්. ජයවේවා.

අද අසනීපයි .....

අද පුදුම කම්මැලි කමක්. නැගිටිනකොට නිකං ඔලුවේ කැක්කුමක් වගෙත් තිබුනා. උදේ නැගිට්ට කියල කිසිම ෆිට් එකක් තිබුනෙත් නෑ. වෙනදට දඩස් ගාල නැගිටින මට අද එහෙම නැගිටින්න පණ තිබුනෙත් නෑ. ටිකක් වෙලා ඉඳල කිබුහුමක් දෙකක් යනකොට තමයි වැඩේ තේරුණේ. අද කාලෙකින් අඩව්වක් අල්ලන්න හදන්නේ කියල හිතුනේ එතකොටයි.

මේක මහ කරුමයක්නේ. එක දිගට කිබුහුම් යනව. නිකං නහයත් ගැලවිලා යන්න සයිස් එකට වැඩේ සිද්ධ වෙන්නේ. කවුරු හරි ලඟ හිටියනම් කියයි "ඔන්න උඹව කවුරු හරි මතක් කරනවා" කියල. වෙලාවට එහෙමවත් කියල හිත හදාගන්නවත් විදියක් නෑ නේ. සමහන් එකක් හදාගෙන බීල කොල්ලා උදේට කන්න ගත්ත. ඒකත් කෑවේ පුදුම අප්පිරියාවකින්. වැඩිය නෑ කටවල් දෙකයි කෑවේ ඉතුරු ටික අපේ සුනඛ බුවාට. මෑන්ස්ටත් ෆුල් හැපි, අද ටිකක් කලින් උදේට කන්න හම්බුන එකට. ඒක වෙන්න ඇති වෙනදට වැඩිය වලිගෙන් සිග්නල් දැම්මේ හොඳට.

වැඩේ එන්න එන්නම අප්සට් වෙනව වගේ ඇඟට දැනෙනකොට ඇඳ ගාවට පැනඩෝල් දෙකකුත් ලැබුනා. ඒ වෙලාවේ නම් අම්මප අර ටීවී ඇඩ් එකත් මතක් වුනා. "මගේ නිසැක තේරීම පැනඩෝල්" කියල ඉඳල හිටල ටීවී කොමර්ෂලුත් යනවනේ. ඒ අතරේ වෙලාවකට හිතෙනවා සූකර උණද කියලත්, කියන්න බෑ ඉතින් මේ කාලේ එක එක මඟුල් තියෙනවනේ.

ඇඳට වෙලාම ඉන්නවා කියන්නේ මහ එපාම කරපු වැඩක්. මෙලෝ රහක් නෑ. ඒකයි ගෙදරින් කුණු බැනුම් අහගෙනත් මැෂිම ඉස්සරහට ආවේ. ඉතින් ඔහොම ඉන්නකොට හිතුනා බ්ලොග් එකේ මොනව හරි ලියන්න. ලියන්නම කියල විශේෂ දෙයකුත් නැති එකේ මගේ අසනීප තත්වය ගැන ලියන්න හිතුනා.

සිරිපා වන්දනාව


අද අළුත් මාසයක ආරම්භයක්. ඒ වගේම උඳුවප් පොහොය යෙදිල තියෙන්නෙත් අද. සාමන්‍ය ජනයා අතර දෙසැම්බර් පෝය කිව්වාම මතක් වෙන්නේ සිරිපා සමය ආරම්භ වුනා කියලා. මෙතැන්සිට වෙසක් පොහොය දක්වා සිරිපා වන්දනාවේ යෙදීමට බැතිමතුන්ට පුළුවන්. සිරිපා ගමන සඳහා ගමන් මාර්ග 3ක් තියෙනවා. හැටන්-නල්ලතන්නිය හරහා එක් මාර්ගයකුත්, කුරුවිට-එරත්න හරනා තව මාර්ගයකුත් රත්නපුර-පලාබද්දල හරහා තව මාර්ගයකුත් තියෙනවා. මේ අතරින් දුෂ්කරම මාර්ගය ලෙස රත්නපුර මාර්ගයද, දුර වැඩිම මාර්ගය ලෙස කුරුවිට මාර්ගයද කියන්න පුළුවන්.

බාල මහලු හැමදෙනෙක්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිරිපා වන්දනා කරන අතර සමහර පිරිසක් සිරිපා ගමන හුදෙක් විනෝද චාරිකාවක් පමණක් සිතාම කටයුතු කරන බව කියන්නේ කණගාටුවෙනි. සංගීත භාණ්ඩ, මත්පැන් මේ වගේ දේවල් සිරිපා වන්දනාවට මේ පිරිස් එක්කර ගන්නවා. මගදිගට වයසක පිරිස් වලට උසුළුවිසුළු කරනව වගේම හූ කියමින්ද ගමන් කරනවා. විවිධ ශබ්ද ඇතිකරනවිට වන සතුන් පවා පැමිණීමට ඉඩකඩ තියෙනවා. අනිත් කාරණය තමයි සිරිපා අඩවියට පා තැබුවාම කට පරිස්සම් කරගන්න කියා පැරණි පිරිස් කියා තිබෙනවා. ඒ කථාවේ ඇත්තක් මා දකිනවා. මීට අවුරුදු කීපයකට කලින් බීමතින් ගමන් කල පිරිසකට සිදුවූ ඉරණම හොදම උදාහරණයක්. පුවත්පත් වලද සඳහන් වුනා.

බලන්න සිංහල බෞද්ධයො කොච්චර පිරිහිලාද කියලා. තමන්ට උරුම සංස්කෘතියට, තමන්ට උරුම ආගමට මේවගේ ගරහන මිනිස්සු ඉන්නකල් කොහොමද දැහැමි සමාජයක් කියන්නේ. මේ පාර සිරිපා වන්දනාවට යන්න ඉන්න සියළුම දෙනා දැනුවත් කරන්නයි මේ ලිපිය ලියන්න හිතුවේ.

උත්තමාචාරය


පසුගියදා බුත්තල, බඩල්කුඹුර ප්‍රදේශයේදී අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI24 හෙලිකොප්ටර් යානයේ සිටි, වන්නි මානුෂික මෙහෙයුමේදී දිවි හිමියෙන් සටන් කල ඒ අභීත රණවිරුවන්ට මෙයින් උත්තමාචාරය.





ඡායාරූපයේ වම්පස සිට පිළිවෙලින්
බලඝණ නායක ඇසල දොඩම්මලුව, පියාසර ලුතිනන් රෙහාන් ප්‍රනාන්දු, කෝප්‍රල් ජයන්ත සිරිසේන, කෝප්‍රල් චන්ද්‍රවංශ බණ්ඩාර රත්නායක.




උපුටා ගැනීම : ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවිය


පිටකොටුවේ බෝට්ටු සේවය

අද උදේ හදිසි වැඩ වගයකට කොළඹ (බම්බා) යන්න වුනා. කෝකටත් සූදානම් ශරීරය කියල කුඩයකුත් බෑග් එකට දාගෙනමයි ගියේ. ගිය වැඩ ටික ඉවරවුනේ ටිකක් දවල් වෙලා එ කිව්වේ 2 ට විතර. බස් එකකට ගොඩවෙලා එනකොට මගදි හොදටම වහින්න ගත්තා. බෝගහ ගාවින් බැහැල පයින් යන්න බැරි තරමට වැස්ස. කරන්න දෙයක් නෑ ගෙදර එන්නත් ඕනේ. ගුණසිoහපුර බස් නැවතුමට එන්නත් ඕනේ. ඉතින් පයින්ම ආවා වෙලාවට කුඩයකුත් අරන් ආව නිසා එච්චරම අප්සට් එකක් තිබුනෙත් නෑ.

ටිකක් දුර එනකොටනෙ වැස්සේ බරපතලකම තේරුණේ මුළු පලාතම යටවෙලා එකම වතුර ගොඩයි. අඩි 1 1/2 විතර උසට වතුර. යාගන්න විදියක් තිබුනෙත් නෑ. වැස්ස අඩු කරන්නෙත් නෑ. කොහොම හරි ස්ටෑන්ඩ් එකට යන බස් එකක එල්ලිලා තමයි ගියේ. මගෙ අම්මෝ මුළු පළාතෙම වතුර එතනට එන්නේ. බෝගහ පැත්තෙන්, උසාවි තියෙන පැත්තෙන්, ගෑස්පහ පැත්තෙන්, මිහිදුමාවත පැත්තෙන් එන වතුර ඔක්කොම එන්නේ ගුණසිoහපුර බස් නැවතුම් පොළට. මීට කලිනුත් ඔහොම වෙලා තියෙනවා අත්දැකීමෙන්ම දන්නවා. ඇයි මෙච්චර නගර අලoකරනයට පොර ටෝක් දෙනවා
වැස්ස දවසට වතුර බැහැල යන්න විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.

එහෙම නැතිනම් පිටකොටුව බෝට්ටු සේවය කියල අලුතෙන් මගී ප්‍රවාහන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේවට අහුවෙන්නේ සාමන්‍ය මිනිස්සු මොකද, ලොකු මිනිස්සු කීයෙන් කීදෙනාද බස් වල ගමන් කරන්නේ. උදේ වරුවක වුනානම් හැමෝම අනාථයි. මේවතමයි පාලකයො හිතන්න ඕනේ කොච්චර කොළඹ නගරය ලස්සන කරන්න හැදුවත් වැඩක් නෑ මූලික දේවල් සම්පූර්ණ නැතිනම්.

දුක්ගැනවිල්ල ......

පැය ගානක ඉදල අහස කළු කරගෙන. හරියට මීට කලින් මෙහෙම වැහැලම නෑ වගේ. හුලන් පාර ගස් පොලොවට වට්ටන්න වගේ. මිනිස්සු වැඩ ඇරිල ගෙදර එනව කඩිමුඩියේ. ඊයෙ වගේ අදත් තෙමෙන්න වෙයිද කියල වෙන්න ඇති. වැහිලිහිණියො අහසෙ සOදර්ශන දාන්නේ වැස්සක පෙර නිමිති කියන්න වෙන්න ඇති. හැමෝම වැස්ස මග අරින්න යනවා. ඒත් ඇයි මම විතරක් වැස්ස එනකන් බලාගෙන ඉන්නේ. අනිත් අයට වැස්ස එපා මට විතරක් ඔනේ වෙලාවත්ද. ඇත්තටම ඔව් මට ජීවත් වෙන්න වැස්ස ඕනේ. මගෙ දරුවන්ට ජීවත් වෙන්න වැස්ස ඕනේ. ඒත් ඒ වැස්සට පුළුවන් මගෙ ජීවිතේ නැතිම කරන්නත්. අනේ වැස්සට කමක් නෑ මගේ කුඹුරට හානි කරන්න නම් එපා. - අහිOසක ගොවියෙකුගේ දුක් අදෝනාවක්
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net