අද මම කියන්න යන්නේ අළුත් අවුරුද්ද ගැනම නෙමෙයි. ඒක අපේ පොඩි කාලෙ ඉඳන් කොහොමද පැවතුනේ කියන එකයි. අප්‍රේල් නිවාඩුව ඉස්කෝලේ යන ඕනෙම කෙනෙක්ට වඩාත් සතුටුදායක නිවාඩුව කියල කියන්න පුළුවන්. ඒ කාලේ අවුරුද්ද කියන එකේ තේරුම හරි හැටි නොතේරුනත් කරන කියන වැඩ මොනවද කියන්න නම් දැනගෙන හිටියා. ඔන්න ඉතින් මම ගොඩාක්ම පොඩි එකා කාලේ අවුරුද්ද කියල හිතුවේ වෙලාවකට කිරිබත් කන එකයි. මොකද පුංචි සන්ධියේ පුංචි බඩට නිතරම බඩගිනි එන නිසා වෙලාවක් අවේලාවක් නැතුව කනවනේ. ඒත් ඉතින් මට එපාම වෙලා තිබුනේ නොනගතය වෙලාවයි. පෙරේතකම තිබුනට ඒ වෙලාවට කන්න දේවල් නැති නිසා සහ කන්න දෙන්නේ නැති නිසා මට අවුරුද්දකට සැරයක් එන අමිහිරිම කාලය තමයි නොනගතය.
අවුරුද්ද ලබනකොට රතිඤ්ඤා පත්තු කරන්නත් ඉවසිල්ලක් නෑ. දවසක් අල්ලපු ගෙදර මිදුලට අහස්කූරක් ගිහින් බැනුම් අහන්නේ නැතිව බේරුනේ අළුත් අවුරුද්ද කටේ තිබුන නිසා වෙන්නත් ඇති. ඔක්කොම කරල ආහාර අනුභවයෙනුත් පස්සේ ඊළඟ නැකතට වැඩ ඇල්ලීම තමයි සිද්ධවුනේ. ඒකත් එක්තරා තරමක එපා වුන කටයුත්තක්. නැකතට වැඩ අල්ලන්න පොතක් අරන් පාඩම් කරන්න කියල 20 පාරක් විතර ගෙදරින් කියනවා. ඒ කාලේ ඉඳන්ම පොත්වල ජීවත් වුන අය නෙමෙයිනේ. කොහොම හරි ෂේප්මන්ට් එක දාගෙන ඉන්නකොට නෑදෑයෝ බලන්න යන්න කාලය එනවා. ඒකත් මගේ හිතේ සතුටුදායක මොහොතක් වෙනවා. මොකද නංගිල මල්ලිල, අයියල, අක්කල එක්ක සෙල්ලම් කරන්න හම්බවෙන එකම වෙලාව ඒක නිසා. අනිත් වෙලාවට එයාලට රටේ නැති වැඩ.
දවස් 2, 3ක් නෑදෑ ගෙවල් වල රවුම් ගහල ගහල ගෙදර ආවහම පාළුව කියන්න බැරි තරම්. ආයෙත් අවුරුද්දකින් නේ ඒවගේ අවස්ථාවක් උදාවෙන්නේ. නිවාඩු කාලේ ඔහොම ගෙවෙනවා, ඊටපස්සේ ඉස්කෝලේ පටන් ගන්න සතියක් විතර තියල තමයි පියවි සිහියට එන්නේ. ගෙදරින් කරගෙන එන්න කිව්ව වැඩ එහෙමත් තියෙනවා. නිවාඩුව ඉවරවෙනව ආයෙත් ඉස්කෝලේ යනකොට හරිම දුකයි. සතියක් විතර ඉස්කෝලේ යනකල් මතක් වෙන්නේම අවුරුද්ද සතුටින් ගත කරපු විදිය.
ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති නේද ???
1 month ago
1 ප්‍රතිචාර:
dhan kale godak wenas wela wage aluth awurudhadhath naweekaranaya wela....me wage athdakeem mathake thiyena ekath sathutak malli....
Post a Comment