skip to main |
skip to sidebar
අද මම කියන්න යන්නේ අළුත් අවුරුද්ද ගැනම නෙමෙයි. ඒක අපේ පොඩි කාලෙ ඉඳන් කොහොමද පැවතුනේ කියන එකයි. අප්‍රේල් නිවාඩුව ඉස්කෝලේ යන ඕනෙම කෙනෙක්ට වඩාත් සතුටුදායක නිවාඩුව කියල කියන්න පුළුවන්. ඒ කාලේ අවුරුද්ද කියන එකේ තේරුම හරි හැටි නොතේරුනත් කරන කියන වැඩ මොනවද කියන්න නම් දැනගෙන හිටියා. ඔන්න ඉතින් මම ගොඩාක්ම පොඩි එකා කාලේ අවුරුද්ද කියල හිතුවේ වෙලාවකට කිරිබත් කන එකයි. මොකද පුංචි සන්ධියේ පුංචි බඩට නිතරම බඩගිනි එන නිසා වෙලාවක් අවේලාවක් නැතුව කනවනේ. ඒත් ඉතින් මට එපාම වෙලා තිබුනේ නොනගතය වෙලාවයි. පෙරේතකම තිබුනට ඒ වෙලාවට කන්න දේවල් නැති නිසා සහ කන්න දෙන්නේ නැති නිසා මට අවුරුද්දකට සැරයක් එන අමිහිරිම කාලය තමයි නොනගතය.
අවුරුද්ද ලබනකොට රතිඤ්ඤා පත්තු කරන්නත් ඉවසිල්ලක් නෑ. දවසක් අල්ලපු ගෙදර මිදුලට අහස්කූරක් ගිහින් බැනුම් අහන්නේ නැතිව බේරුනේ අළුත් අවුරුද්ද කටේ තිබුන නිසා වෙන්නත් ඇති. ඔක්කොම කරල ආහාර අනුභවයෙනුත් පස්සේ ඊළඟ නැකතට වැඩ ඇල්ලීම තමයි සිද්ධවුනේ. ඒකත් එක්තරා තරමක එපා වුන කටයුත්තක්. නැකතට වැඩ අල්ලන්න පොතක් අරන් පාඩම් කරන්න කියල 20 පාරක් විතර ගෙදරින් කියනවා. ඒ කාලේ ඉඳන්ම පොත්වල ජීවත් වුන අය නෙමෙයිනේ. කොහොම හරි ෂේප්මන්ට් එක දාගෙන ඉන්නකොට නෑදෑයෝ බලන්න යන්න කාලය එනවා. ඒකත් මගේ හිතේ සතුටුදායක මොහොතක් වෙනවා. මොකද නංගිල මල්ලිල, අයියල, අක්කල එක්ක සෙල්ලම් කරන්න හම්බවෙන එකම වෙලාව ඒක නිසා. අනිත් වෙලාවට එයාලට රටේ නැති වැඩ.
දවස් 2, 3ක් නෑදෑ ගෙවල් වල රවුම් ගහල ගහල ගෙදර ආවහම පාළුව කියන්න බැරි තරම්. ආයෙත් අවුරුද්දකින් නේ ඒවගේ අවස්ථාවක් උදාවෙන්නේ. නිවාඩු කාලේ ඔහොම ගෙවෙනවා, ඊටපස්සේ ඉස්කෝලේ පටන් ගන්න සතියක් විතර තියල තමයි පියවි සිහියට එන්නේ. ගෙදරින් කරගෙන එන්න කිව්ව වැඩ එහෙමත් තියෙනවා. නිවාඩුව ඉවරවෙනව ආයෙත් ඉස්කෝලේ යනකොට හරිම දුකයි. සතියක් විතර ඉස්කෝලේ යනකල් මතක් වෙන්නේම අවුරුද්ද සතුටින් ගත කරපු විදිය.
ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති නේද ???
මරණය කාටත් පොදු දෙයක්නේ. හැබැයි අපි අතරත් ඉන්නවා නිතරම මරණය මෙනෙහි කරන කෙනෙකුත්. වැඩි වර්ණනා ඕනේ නෑ ඒ තමයි අපේ මරේ. ඉතින් අද මම කියන්න යන්නේ අහම්බෙන් සිද්ධ වුන දෙයක් ගැන. මේ වගේ දේවල් දකින්න අහන්න ලැබුනාම ඉතින් මතක් වෙන්නේම බ්ලොග් එක තමයි. ඒත් හැමදාමත් කියනවා වගේ ඒකට කාලය ටිකක් හොයාගන්න එක අමාරු වෙලා තියෙන්නේ. කොහොම හරි කමක් නෑ අද මම කියන්නම්කෝ විස්තරේ.
මම ඉතින් නිවාඩුවක් ලැබුනාම කොළඹ රවුමක් එහෙම දාන්න කියල එනවනේ. ඉතින් ඔහොම උදේ වරුවේ රස්ති පාරක් දාල වැස්සටත් කලින් ගෙදර යන්න ඕනේ කියල 1 ට විතර ලෑස්තිවුනා. කියන්න බැරිවුනානේ මම වැඩිපුරම කැමති යාළුවොත් එක්ක බම්බා යන්න. ඉතින් කොටුවෙන් 1.55 ට විතර තියෙනවා සීඝ්‍රගාමී දුම්රියක්. ආ..... තව කථාවක් තියෙනවානේ කියන්න ඔයාලට. මට බස් ගමන තිත්ත වුනා පහුගිය දවස්වල කාපු චාටර් නිසා.ඒකයි කෝච්චියේ යන්න කැමති ගොඩක්ම.
වැඩිය සෙනගත් නෑ කොළුකමට මං කවදත් ආසයි කෝච්චියේ පාපුවරුවේ යන්න. ඔන්න ඒකට කවුරුවත් මේ අහිංසකයට බනින්න එපා. ඔහොම එනකොට තියෙනවා යාගොඩ කියල ස්ටේසමක්. ඒක පහුකරන් ටික දුරක් යනකොට මම දැක්කා කවුද මනුස්සයෙක් අපි යන රේල් පාරේ හිටගෙන ඉන්නවා. කෝච්චිය හෝන් එක ගහගෙන ඉස්සරහට ගියත් මිනිහ අයින් වෙන පාටක් නෑ. පස්සේ මම දැක්කා බිම දිගාවෙනවා. එතන ටිකක් ලොකු වංගුවක් තියෙන නිසා ඒ ටික හරි පෙනුනේ. ඉතින් කෝච්චිය තිරිංග පද්ධතිය ක්‍රියත්මක කරල තවත් මීටර් 100 විතර පහුකරන් ගිහින් නැවැත්තුවේ නැතෑ. කට්ටිය දුවල ගියා බලන්න. මාත් ඉතින් ගියා හිතුවෙ නම් මනුස්සයාගේ කෑලි ඇති කියලා.
ගිහින් බලනකොට ඒ මනුස්සයා මුනින් අත දිගාවෙලා හිටියෙ, අඳුමත් ඉරිල තිබුනා. ගොඩක් දුරට එහෙම වෙන්න ඇත්තේ එන්ජිමේ ඉස්සරහ තියෙන කව්ගාඩ් එකේ වැදිලා වෙන්න ඇති. අපි එතනට යනවත් එක්කම ගාඩ් සහ තවත් කෙනෙක් ජංගම ඇඳක් වගේ දෙයක් අරන් ආවා. කට්ටිය එකතුවෙලා තුවාලකාරයාව කෝච්චියට පටව ගත්තා. ඊටපස්සේ ගම්පහ ස්ටේසමෙන් රෝහල වෙත අරන් ගියා.
මාත් ඉතින් ඒ ස්ටේසමෙන් බැහැල ගෙදර යනගමන් කල්පනා කලේ මිනිහගේ වෙලාව හොඳවුනා කියල. නැතිනම් ඉතින් කෑලි ටික තමයි ඉස්පිරිතාලෙට භාරදෙන්න තිබුනේ.
මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පිටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ජයවේවා.