අවසන් ගමන

අද මම කියන්න යන්නේ මං ගැන නෙමෙයි. වෙන මිනිහෙක් ගැනත් නෙමෙයි. ලංකාදීප පත්තරේ තිබුන සංවේදී ලිපියක් මේ කථාවට මූලික වුනේ. මේක දකින හැමෝගේම ඇස්වලට කඳුළු උනනවා සත්තයි. හිතාගන්න අමාරුයි මිනිස්සු මෙච්චර අපරාධ කරන්නේ ඇයි කියලා.

අපිට අපේ අම්මව නැතිවුනාම දැනෙනව වගේමයි ඒ ඇත් පැටියටත්. ඒක කොහොම දරාගෙන ඉන්න ඇතිද කියල පුවත්පතේ ඒ ලිපිය කියවන හැමෝටම තේරෙන්න ඇති. අලියෙක් වුනා කියල දුක කියන දේ දැනෙනවා අපිට වගේ. දවසක් මම රූපවාහිනියේ දැක්කා ලංකාවේ කැලයක හිටිය අලියෙක්ට වෙඩි වදිලා එයාට බේත් කරන්න වනජීවී නිලධාරීන් සෑහෙන මහන්සියක් ගත්තා. එක අතකට සතු‍ටුයි අපේ තිරිසන් මිනිස්සු කරන වැඩ වලට තම ජීවිතෙත් පරදුවට තියල වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්න එක ගැන. ඒත් මේ වෙඩි තියල අලි මරන එක කවදා කෙලවර වෙයිද කියල හිතාගන්න බෑ.

මිනිස්සුන්ට, අලින්ට වඩා මොලයක් ලැබිල තියෙන්නේ කල්පනා කරල වැඩ කරන්න. කැලෑවල් ගිනිතියන්නයි හේන් කොටන්න කියල කැලෑවල් එළි කලාමයි අලින්ට වුනත් කන්න දේවල් නෑ කියල උන්ට තේරෙන්නේ නැති හැටි. ඒක තමයි මේ ප්‍රශ්න පටන් ගන්න ප්‍රධානම හේතු ටික. මේක හරියනකං අලි ගම්වදින එක වලක්වන්න කොහොමටවත් බෑ. අනික එහෙම අපරාධ කරන අයට දැඩි දඬුවම් දෙන්නත් ඕනේ. එතකොටවත් මේ වගේ දේවල් වෙන එක නතරවෙයි.

අලිමංකඩ ගියෙමි....

ඔන්න මම අද කියන්න යන්නේ මගේ අලිමංකඩ චාරිකාව ගැන. ඔයාල බලයි මේ අසනීපෙන් හිටපු කෙනා කොහොමද එකපාරට අලිමංකඩ ගියෙ කියලා. ඇත්තම කියනවනං මම අලිමංකඩවත් පාමංකඩවත් ගියෙ නෑ. හැබැයි අලිමංකඩ චිත්‍රපටිය නම් බලන්න ගියා.

කොල්ලට වැඩ ටිකක් අඩුවුන නිසා යාලුවො කීපදෙනෙක් සෙට් කරගත්ත අලිමංකඩ බලන්න යන්න. නියම චිත්‍රපටිය හැබැයි. මීට කලින් හමුදාවල විරුවන්ව හෑල්ලු කරල චිත්‍රපට හැදුවට මොකද මේක නම් එහෙම චාටර් එකක් නෙමෙයි. අද කාලේ නිතරම දකින්න ලැබෙන දෙකයි පනහේ චිත්‍රපටි ගැන බලනකොට හරයක් තියෙන චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

හමුදා නිලධාරියෙක් සහ ද්‍රවිඩ කාන්තාවක් තමයි ප්‍රධාන චරිත දෙක. තමාගේ සැබෑ නොවූ සිහිනය හමුවේ හිස එසවීමට උත්සාහ කරන කාන්තාවක් ගැනද. නොයෙක් අභියෝග වලට මුහුණ දෙමින් තම මෙහෙවර අකුරටම ඉ‍ටු කරන කපිතාන්වරයකු ගැනද, ඔහුගේ එම ක්‍රියාදාමයෙන් අලිමංකඩ මුදාගැනීමට හැකිවීමද චිත්‍රපටියේ සාරංශය විදියට කියන්න පුළුවන්. මට දැනගන්න ලැබුන විදියට සැබෑ යුද්ධයට අලලා නිර්මාණය වූ චිත්‍රපටියකි.

තාමත් බලන්න ලැබුනේ නැතිනම් බලන්න ඉක්මනටම. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්

ඉතින් අලිමංකඩ බලල එනකොට මම දැක්කා මගදි බිංදු ඉන්නවා. අපෙ අප්පොච්චියේ බ්ංදු තාමත් පෙන්නනවා. කමක් නෑ ඉතින් ලංකාවේ පොඩිහිටියන්ට චිත්‍රපටි හදන්නේ බොහොම කලාතුරකින් නේ. ඔන්න පවුලේ සැමට කියල එකක් ආවොත් මොකක් හරි කුනුහරුප කතාවක් දෙකක් කියල මිනිස්සුන්ව හිනස්සනවා. ඕකම තමයි ලංකාවේ චිත්‍රපටි එපාවෙන්නේ. කීයෙන් කීයද හොඳයි කියන්න පුළුවන් ඒවා තිබුනේ. අනිත් ඔක්කොම තේරුමක් නැති ඒවානේ. කොහොම හරි කමක් නෑ. වැඩිහිටියන්ගේ චිත්‍රපටි වගේම පොඩිහිටියන්ටත් චිත්‍රපටි නිර්මාණය වෙනවනන් තමයි හොඳ.

දැන් හොඳයි.....

යාන්තම් තිබුන අමාරු ටික අඩුවෙලා ගියා. කොල්ලේගේ සෞඛ්‍ය තත්වය හොඳයි කියන්නේ ඉතින් සාමාන්‍ය විදියට වැඩ ටික කරගන්න පුළුවන් කියන එකයි. බයිස්කෝප් වෙබ්පි‍ටුවේ කස්ටියට පිං සිද්ධ වෙන්න හොඳ ‍ෆිල්ම්ස් ටිකකුත් බලාගත්තා ගෙදර හිටිය කාලෙදි.රෑට බානවා දවල්ට බලනවා ඒකත් ආතල් වැඩේ. නිකං තියෙන ජංජාලෙනේ.

රටේ අළුත් විස්තර මොනවද කියන්නවත් දන්නේ නෑ. මොකද නිව්ස් කියල යන්නේත් මඩ ගහගන්න ඒවානේ. ජනවාරි ඉවරවෙනකන් ටීවී බලන එක අඩු කරන්න කියල කල්පනා කලේ. ඒ අතරෙ ඉතින් ලොකු ලොකු කට්ටිය කියන කථා වටින් ගොඩින් ඇහෙනකොට ආයෙත් රූපවාහිනියේ අගය තේරෙන්න ගන්නවා.

අද ඉතින් කොල්ල ගියා පොඩි රවුමක්. රවුමක් කිව්වට ගෙදර ඉඳල එපා වුන නිසා ගියා ටවුම පැත්තට. නත්තල් කාලේ හින්දා වෙන්න ඇති මිනිස්සු මෙච්චර උනන්දුවෙන් බඩු ගන්නේ. නත්තල් කාලෙටයි අවුරුදු කාලෙටයි සෙනඟ වැඩියි. කඩවල්වලටත් ජයටම ඇති ඉතින්. වෙනදනම් ඉතින් මොන උත්සවය තිබුනත් මිනිස්සු ගෙවල් වලින් බහින්නේ පණපිටින් ගෙදර එන්න පුළුවන්වෙයිද කියන සැකය උඩනේ. විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න නගරවල ගැවසෙන්නත් මිනිස්සු බයවුනා. කොහොම හරි යුද්ධය ඉවරවුනාට පස්සේ මහජනයාට නිදහසේ බයක් සැකක් නැතිව යන්න එන්න පුළුවන්.

කථාවේ අවසානයටත් ආවා ලෙඩ වෙලා ඉන්නකොට බ්ලොග් එකේ කමෙන්ට් දාල මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. ආයෙත් අළුත් අළුත් දේවල් ලියන්න ගන්නම්. ජයවේවා.
 
readbud - get paid to read and rate articles


Copyright © 2009 සිංහලෙන් අපි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net